University of colombo school of computing lankeeya sithuwili

ලොව පලමු මෝටර් රථ ධාවන පථය

මෝටර් රථ ධාවන තරඟ සඳහා නිර්මාණය කරන ලද පලමු ධාවන පථය බ්‍රිතාන්‍යයේ බෲක්ලන්ඩ් හි පිහිටා ඇත. සැතපුම් 2.75 වන මෙය 1907 දී ආරම්භ කරන ලදී.

ලොව වේගවත්ම වාශ්ප දුම්රිය

"මැලාර්ඩ්" දුම්රිය 1938 දී පැ.කි.මී. 202.58 ක වේගයකින් ගොස් වාශ්ප දුම්රිය සඳහා වාර්තාව තබා ඇත.

"ටයිටැනික් එන්ජිම" S.O.S. Titanic

මෙහි දැක්වෙන්නේ අප කවුරුත් දන්නා ටයිටැනික් නෞකාවේ භාවිත කල වර්ගයේ බොයිලේරුවක් හා එන්ජිමකි

27 February 2014

වාහනයක් ගන්න පත්තරේ ඇඩ් බලනවද?



මා හට මේ ලිපිය ලිවීමට සිත්වූයේ මාගේ මිතුරෙක් මේ පිලිබඳව මගෙන් විමසූ නිසාවෙනි. ඔහු මගෙන් ඇසුවේ මෝටර් වාහන විකීණීම සඳහා පලකර ඇති පුවත් පත් දැන්වීම් වල භාවිත කර ඇති වචන කිහිපයක තේරුමයි.  ඔහුගේ එම ප්‍රශ්නය හා ඊට අදාල වන තවත් තොරතුරු  කිහිපයක් ද මෙම ලිපිය හරහා ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. 
මෝටර් වාහන විකිණීම සඳහා පලකරන ලුහුඬු දැන්විමක් ගත් විට එහි සීමිත වචන සංඛ්‍යාවක් මගින්, විකිණීම සඳහා පවතින වාහනයේ සෑම තොරතුරක්ම ඉදිරිපත් කිරීමට දැන්වීම පල කරන්නා  උත්සුක වෙයි. මෙහිදී දැන්වීම පලකරන්නා හෙවත් මෝටර් වාහනය විකුණාගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා ඒ සඳහා විවිධ කෙටි නම්, ඉංග්‍රීසි වචන හා මෝටර් වාහන හා සබැඳුන විශේෂ වචන භාවිත කරයි. මාගේ උත්සාහය මෝටර් වාහන පිලිබඳ එතරම් පරිණත දැනුමක් නොමැති, මෝටර් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන, මෝටර් වාහන පිලිබඳ උනන්දුවක් ඇති ඔබ සියලු දෙනාටම ඉහත කී වචන පිලිබඳව මාගේ දැනුම ඔබට ලබා දීමටයි.
 පහත එක් එක් මාතෘකා මගින් එම වචන හා ඒ යටතේ ඇති කෙටි සටහනෙන් එවායේ තෙරුම් දක්වා ඇත.

1. බ්‍රෑන්ඩ් නිව් (Brand new)

යම් මෝටර් රථයක් විකුණන අවස්ථාව වන විටත් එය නිෂ්පාදන සමාගමෙන් නිකුත් කරන විට තිබූ තත්වයෙන්ම පවතින වාහන හැඳින්වීමට මෙය භාවිත වේ. බොහෝ විට බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ වෙලඳපොලට නිකුත් කරනු ලබන්නේ එම මෝටර් රථය නිෂ්පාදනය කරනු ලබන සමාගම විසින්ම ය. නමුත් ලංකාවේ එවැනි බොහෝමයක් සමාගම් පිහිටා නොමැති බැවින් එම සමාගම් වල බලයලත් අලෙවි නියෝජිතයන් හරහා, තැරැව්කරුවන් (සමාගමේ බලයලත් අවසරය නොමැති මෝටර් වාහන ගෙන්වන ආයතන ) හරහා මෙම වාහන ලංකාවේ වෙලෙඳපොලට පැමිණේ.

2. රීකන්ඩිශන් වාහන (Reconditioned Vehicles)

මෝටර් රථ නිෂ්පාදන සමාගමකින් මෝටර් රථයක් නිෂ්පාදනය කල පසු එය ලංකාවට ගෙන ඒමට පෙර යම්කිසි කාලයක් භාවිත කර (මෙම කාල පරාසය දින කිහිපයක සිට අවුරුදු 2ක් 3ක් දක්වා විය හැකිය.) නැවත එම මෝටර් රථයේ දෝෂ නිරාකරණය කර, ලංකාවට ගෙන එන මෝටර් රථ රීකන්ඩිශන් මෝටර් රථ ලෙස හඳුන්වනු ලබයි. මෙම වාහන බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ වලට සාපේක්ශව මිලෙන් අඩුය. ජපානයෙන් ආනයනය කල  සමහර මෝටර් රථ වල බඳෙහි ජපාන අකුරු හෝ සංකේත ඔබ දැක ඇති. මෙසේ මෙවැනි සංකේත තිබෙනුයේ රීකන්ඩිශන් මෝටර් රථ වලයි.

 3. අන් රෙජිස්ටර්ඩ් (Un-Registered)-ලියාපදිංචි නොකල

ඕනෑම මෝටර් වාහනයක් මහාමාර්ගයක ධාවනය කිරීමට නම් මෝටර්  වාහනය සුදුසු ධාවන තත්වයක පැවතිය යුතු වනවා මෙන්ම, මෝටර් වාහනය හා එය පදවන රියදුරු වරයාද එම වාහනය මහාමාර්ගයක ධාවනය කරවීමට නීතිමය වශයෙන් ද සුදුසුකම් ලබා තිබිය යුතුය. මේ ආකාරයට මෝටර් වාහයනයක් මහාමාර්ගයක ධාවනය කිරීමට නම් සපුරාලිය යුතු මූලික සුදුසුකම් දෙකක් පවතී. ඒ එම මෝටර් වාහනය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (DMT-Department of Motor Traffic) ලියාපදිංචි කර තිබිය යුතු වීම හා එම මෝටර් වාහනයට රක්ෂණ සහතිකයක් තිබීම වේ. මේ අනුව ලියාපදිංචි නොකල වාහනයක් මහාමාර්ගයක ධාවනය කල නොහැකිය. එමනිසා පාරිභෝගිකයෙක් මෝටර් වාහනයක් මිලදී ගත් විගස එම මෝටර් වාහනය තමාගේ හිමිකාරීත්වය යතතේ ලියාපදිංචි කලය යුතු වේ. දැන්වීම් වල ලියාපදිංචි නොකල වාහන ලෙස දැක්වෙනුයේ එසේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකල මෝටර් වාහන වේ. මෙරටට ගෙන්වන සෑම බ්‍රෑන්ඩ් නිව් හා රීකන්ඩිශන් වාහනයක්ම පලමු වරට වෙලඳපොලට ඉදිරිපත් වන විට ලියාපදිංචි නොකල තත්ත්වයේ පවතී. මීට අමතරව මහාමාර්ගයේ ධාවනය නොකර විශේෂ අවශ්‍යතාවකට භාවිත කරන ලද (මෝටර් රථ ධාවන තරඟ සඳහා, මෝටර් රථ ප්‍රදර්ශන සඳහා) මෝටර් වාහන මෙම වර්ගයට ඇතුලත් කල හැකිය.

4. රෙජිස්ටර්ඩ් (Registered)-ලියාපදිංචි කල

මෝටර් වාහනය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරිමෙන් පසු විකුණන වාහන මෙම වර්ගයට අයත් වේ. මෙහිදී මෙවැනි මෝටර් වාහනයක් මිලදිගත් පසු මිලදීගත් තැනත්තා විසින් එම ලියාපදිංචි කල වාහනයේ හිමිකාරත්වය තමන් වෙතට පවරා ගැනීම කල  යුතු වන අතර නැවත අලුතින් වාහනයක් ලෙස ලියාපදිංචිය සිදු කල නොහැක. මෝටර් වාහනයට ලියාපදිංචි අංකයක් (උදා:- WP DD-1234 ආකාරයේ) ලැබෙනුයේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කල පසුවයි. එබැවින් වාහනයේ ඉදිරිපස හා පසුපස දැක්වෙන ලියාපදිංචි අංකය මගින් අදාල වාහනය ලියාපදිංචි කල වාහනයක්ද නැතිද යන්න හඳුනා ගත හැකිය.

5. 4WD

4(Four) Wheel Drive යන්න කෙටි කිරීමෙන් මෙම වචනය නිර්මාණය වී ඇත. ජීප් රථ හා පික්-අප් (pick-up) රථ පිලිබඳ දැන්වීම් වලදී මෙම වචනය භාවිත වේ. මෙමගින් පැවසෙනුයේ එන්ජිමේ බලය වාහනයේ රෝද හතරටම යොදවමින් ධාවනය කල හැකි මෝටර් රථයක් යන්නයි. සාමාන්‍යයෙන් මෝටර් වාහන වල එන්ජිමේ බලය සැපයෙනුයේ වාහනයේ ඉදිරිපස රෝද යුගලයට හෝ පසුපස රෝද යුගලයට පමණි. නමුත් ජීප් රථ , පික්-අප් රථ වල පසුපස රෝද දෙකෙන් පමණක් මෙන්ම රෝද හතරටම එන්ජිමේ බලය යොදමින් ධාවනය කල හැකිය. මේ හේතුව නිසා මෙම වාහන මඩ සහිත පාරවල් වලද කිසිම අපහසුතාවයක් නැතිව ගමන් කරයි. යම් වාහන මාදිලියක 4ව්ද් පහසුකම සහිත හා එම පහසුකම නොමැති යන දෙවර්ගයටම අදාලව එම මාදිලියේ වාහන නිෂ්පාදනය කර තිබිය හැකිය. එම අවස්ථාවන් වලදී 4WD පහසුකම සහිත වාහන වල මිල 4WD පහසුකම රහිත වාහනයේ මිලට වඩා මඳක් වැඩි වේ.

6. පවර් ස්ටයරිං (Power Steering)

රියදුරාගේ පහසුව සඳහා වාහනයේ සුක්කානම් පද්ධතිය සමග සම්බන්ධව පැමිණෙන තාක්ශණයක් ලෙස මෙය හාඳුන්වා දිය හැකිය. නවීන වාහන සෑම එකකම පාහේ මෙම පහසුකම ලබා දී තිබේ. මෙමගි සුක්කානම හැරවීමේදී සුක්කානම කරකැවිය යුතු වට ගණන අඩු කර දෙන අතර, සුක්කානම හැරවීමට යෙදිය යුතු ආයාසයද අවම කර දෙයි.

7. ෆුල් ඔප්ශන් (Full option)

 වාහනයේ අඩංගු පහසුකම් පිලිබඳ හැඳින්වීමට මෙය භාවිත කරයි. මෙහිදී වාහනයේ පහත පහසුකම් තිබෙන බව මෙම වචනය දැක්වීමෙන් අදහස් කෙරේ.
  • පවර් ස්ටයරිං
  • පවර් මිරර්ස් (Power Mirrors) :- වාහනයේ පැති කණනාඩි ස්වයංක්‍රීයව හැරවීමේ පහසුකම
  • පවර් ශටර්ස් (Power Shutters) :- වාහනයේ වීදුරු ස්වයංක්‍රීයව ඇරීමේ හා වැසීමේ පහසුකම
  • එයාර් බෑග් (Air Bag) :- වාහනයේ ගමන්ගන්නා අයගේ ආරක්ශාව සඳහා පවතින ආරක්ශක උපක්‍රමයකි.
  • වායු සමීකරණය (A/C -Air Conditioner)  
මෙම අංග සහිත මෝටර් වාහනයක් ෆුල් ඔප්ශන් වාහනයක් ලෙස හැඳින්වෙන අතර, මෙය නියමයක් නොවන බැවින් ඉහත අංග වලින් කිහිපයක් පමණක් හෝ, ඊට අමතරව තවත් පහසුකම් සහිතව පවතින මෝටර් වාහනයකටද ෆුල් ඔප්ශන් යයි භාවිත කර තිබීමට පුලුවන. 
මෙම ලිපිය මගින් ඔබගේ වාහන පිලිබඳ දැනුම වැඩි වූවා යයි මම සිතමි. එමෙන්ම වාහන විකිණීම පිලිබඳ දැන්වීමක් කියවන විට එය වඩාත් අර්තවත්ව කියවා, එමගින්   ඔබගේ අවශ්‍යතාවයට, කැමැත්තට ගැලපෙන හොඳ වාහනයක් මිලදි ගැනීම සඳහා ඔබට වැදගත් වනු ඇති.

21 February 2014

වේගෙන් යනවානම් මේකත් දැනගන්න - ABS


ABS යනු මෝටර් වාහනයක තිරිංග පද්ධතිය නිර්මාණය කිරීමේදී භාවිත වන තාක්ශණික ක්‍රමෝපායකි. වර්තමානයේ නිපදවෙන සෑම මෝටර් වාහනයකම පාහේ ABS තිරිංග පද්ධතියක් සහිතව නිෂ්පාදනය කරනු ලබයි. ABS යන ස්ංකේත නාමයේ අර්ථය Anti-lock Braking Syatem වේ. එනම් වාහනයේ රෝද ස්ථිරව හිර වීමකින් තොරව තිරිංග යෙදවීමට හැකි තිරිංග පද්ධතිය යන්නයි.
මෙම ක්‍රමය මගින් මෝටර් වාහනයක තිරිංග ක්‍රියාකාරිත්වය ඉතා ආරක්ෂාකාරීව, කෙටි කාල පරාසයකින් ඉටු කර ගැනීමට හැකියාව ලැබී ඇත.
ABS තිරිංග පද්ධතියක් නොමැති මෝටර් වාහනයක තිරිංග ක්‍රියාත්මක කළ විට සිදුවන්නේ පහත ආකාරයේ සංසිද්ධියකි. මෙහිදී තිරිංග ක්‍රියාත්මක කල විගසම මෝටර් වාහනයේ සියලුම රෝද වෙත තිරිංග ක්‍රියාත්මක වී රෝද හිරවීමක් හෙවත් ලොක්(Lock) වීමක් සිදු වේ. සුමට තිරිංග යෙදීමකදී (තිරිංග පැඩලය සෙමින් පාගමින් වාහනය සෙමින් නවතා ගන්නා අවස්තා වලදි) නම් රෝද වල හිර වීම ක්ෂණිකව සිදු නොවන අතර වාහනය සම්පූර්ණයෙන් නවතා ගැනීමට වැඩි කාලයක් ගත වේ.එමෙන්ම වාහනය මාර්ගය දිගේ වැඩි දුරක්ද ගමන් කරයි. එහෙත් දෘඩ තිරිංග යෙදීමකදී (වාහනය ක්ෂණිකව නවතා ගැනීමට අවශ්‍ය වූ විට) ඉතා කෙටි කාලයක් තුලදී වාහනයේ තිරිංග ක්‍රියාත්මක වී රෝද හිර වීම සිදු වේ.
මෙසේ එකවරම වාහනයේ රෝද හිර වීම නිසා වාහනයේ රෝද හා මාර්ගය අතර පවතින සම්බ්න්ධතාව හෙවත් ඝර්ෂණය ගිලිහී යාම හේතු කොටගෙන වාහනය මාර්ගය මත ලිස්සා යාමට පටන් ගනී. මේ හේතුවෙන් වාහනයේ පාලනය රියදුරා අතින් ගිලිහී යයි. එබැවින් වාහන අනතුරු ඇතිවීමේ හැකියාව වැඩිවේ.වංගු සහිත මාර්ගයකදී නම් මෝටර් වාහනය ඉක්මනින් මාර්ගයෙන් ඉවතට විසි වීම සිදු විය හැක.
විශේෂයෙන්ම දෘඩ තිරිංග යෙදීම් වලදී මේ අකාරයට සිදුවන මෝටර් වාහනයේ පාලනය ගිලීහීම හා මෝටර් වාහනය මාර්ගයෙන් ඉවතට විසි වීම වලක්වා, රියදුරු පාලනයට කීකරුව ඉතා අඩු කාලයකින් මෝටර් වාහනය ආරක්ශාකාරීව නවත්වා ගැනීමට, වාහනය අනතුරින් වලක්වා ගැනීමට ABS තිරිංග ක්‍රමය නිසා හැකියාව ලැබී ඇත.

විශේෂයෙන්ම දෘඩ තිරිංග යෙදීම් වලදී මේ අකාරයට සිදුවන මෝටර් වාහනයේ පාලනය ගිලීහීම හා මෝටර් වාහනය මාර්ගයෙන් ඉවතට විසි වීම වලක්වා, රියදුරු පාලනයට කීකරුව ඉතා අඩු කාලයකින් මෝටර් වාහනය ආරක්ශාකාරීව නවත්වා ගැනීමට, වාහනය අනතුරින් වලක්වා ගැනීමට ABS තිරිංග ක්‍රමය නිසා හැකියාව ලැබී ඇත.
ABS පද්ධතියක් ප්‍රධාන උපාංග 4කින් සමන්විත වේ. ඒවා පහත පරිදි හඳුන්වාදිය හැක.
1. වේග ස්ංවේදක - Speed sensors
වාහනයේ එක් එක් රෝදය කැරකෙන වේගය කුමක්ද යන්න ඉලෙක්ට්‍රොනික පාලක ඒකකයට ලබා දීම සඳහා මෙය යොදා ගනු ලබයි. එක් රෝදයකට එක බැගින් වාහනයේ රෝද හතරටම මෙම වේග සංවේදක සවි කොට ඇත. සමහර වාහන වල මෙම සංවේදක වාහනයේ අවකලකයේ (Differential) සවි කර තිබෙනු දක්නට ලැබේ.
2. වෑල්ව - Valves
සාමාන්‍ය තිරිංග පද්ධතියකද අපට වෑල්ව දැක ගත හැකිය. මේවා බොහෝවිට වාහනයේ ඉදිරිපස හා පසුපස රෝද වලට වෙන වෙනම හයිඩ්‍රොලික් සැපයුම ලබා දීම සඳහා මාස්ටර් පොම්පය සමග පිහිටනු ලබයි. මේ අයුරින් ම ඇඹ්ශ් ක්‍රමයේදීත් එක් එක් රෝදයට සැපයෙන හයිඩ්‍රොලික් සැපයුම පාලනය කිරීමට හැකි වන පරිදි වෙන වෙනම් වෑල්ව හතරක් තිබේ.
3. පොම්පය - Pump
වෑල්වයක් හරහා හයිඩ්‍රොලික් පීඩනය මුදා හැරිය පසු නැවත වෙනත් වෑල්වයක්ට හයිඩ්‍රොලික් පීඩනය ලබා දීමට අවශ්‍ය පීඩනය උත්පාදනය කිරීමට මෙය ABS පද්ධතියට සම්බන්ධ කොට ඇත. පාලක ඒකකය මගින් මෙම පොම්පයේ ක්‍රියාව නිරතුරුවම ස්ංවේදනය කරනු ලබයි.
4. ඉලෙක්ට්‍රොනික පාලක ඒකකය - ECU (electronic control unit)
තිරිංග යෙදූ පසු රෝද වල වේගය මැන බලා ඊට අදාලව රෝද වෙත හයිඩ්‍රොලිච් පීඩනය යැවීම හා නිදහස් කිරීම සඳහා නිර්මාණය කරඇති ඉලෙක්ට්‍රොනික උපාංග සහිත කොටසකි. පොම්පය හා වෑල්ව යන කොටස් එක්වී Modulator unit යන ඒකකය නිර්මාණය වේ.


මෝටර් වාහනයක රියදුරා විසින් වාහනයේ තිරිංග ක්‍රියාත්මක කල විට ඉලෙක්ට්‍රොනික පාලක ඒකකය මගින් එය සංවේදනය කරයි. පසුව වෑල්වය සෙමින් නිදහස් කරමින් රෝදය වෙතට හ‍යිඩ්‍රොලික් පීඩනය ලැබීමට සලස්වයි. එවිට රෝදයේ රෝධක ක්‍රියාත්මක වීම නිසා රෝදයේ වේගය අඩුවීගෙන ගොස් රෝදය ලොක් වීමට ආසන්න අවස්ථාවට පැමිනේ. එවිට ඒ බව පාලක ඒකකය සංවේදනය කර,නැවත වෑල්වය සෙමින් වැසීම සිදු කරයි. එවිට රෝදයට ලැබෙන හ‍යිඩ්‍රොලික් සැපයුම අඩාල වීම නිසා නැවත රෝදය කරකැවීමට පටන් ගනී. මෙම ක්‍රියාවලිය සිදු වීමට ගත වන්නේ ඉතාමත් කෙටි කාලයකි. තත්පරයකට කිහිපවාරයක්ම මෙය සිදුවේ. මේ අයුරින් මෙම ක්‍රියාවලිය සෑම රෝදයකටම ක්‍රියාත්මක වීම නිසා වාහනය ඉක්මණින් නවතා ගැනීමට හැකියාව ලැබේ.
භාවිත වන වෑල්ව ප්‍රමාණය හා යොදාගන්නා වේග සංවේදක ගණන අනුව තිරිංග පද්ධති වර්ග කිහිපයකි.
  • Four-channel, four-sensor ABS
  • Three-channel, four-sensor ABS
  • Three-channel, three-sensor ABS
  • Two-channel, four sensor ABS
  • One-channel, one-sensor ABS
මෙහි channel යනුවෙන් දක්වා ඇත්තේ භාවිතා වන වෑල්ව ප්‍රමාණය වේ. වාහනයේ බර, ගමන්කල හැකි වේගය, නිෂ්පාදක සමාගම වැනි කරුණු අනුව මෝටර් වාහනයක සවිකරන ABS පද්ධතියේ වර්ගය එකිනෙකට වෙනස් වේ.
ABS තිරිංග පද්ධතියක් පලමු වරට නිෂ්පාදනය වූයේ ගුවන් යානා සඳහායි. ඒ 1929 ප්‍රංෂ වාහන හා ගුවන්යානා නිර්මාපකයෙකු වූ ගේබ්‍රියල් වයොසන් (Gabriel Voisin) විසිනුයි. මෙය යාන්ත්‍රික පද්ධතියක් වූ අතර, ජව රෝදයක් මගින් ක්‍රියාත්මක විය. ඉන් පසු මෙය ගුවන් යානා සඳහා භාවිත වුවද මෝටර් වාහන සඳහා භාවිත වීමට ආරම්භ වූයේ 1960 පසුවයි. Ferguson P99 රේසින් කාරය, Jensen FF, ෆොර්ඩ් Zodiac යනාදී මෝටර් වාහන වල භාවිත කලද එය ජනප්‍රිය නොවූයේ නිෂ්පාදනයට වැය වු මිල අධික වීම හා ප්‍රායේගික ගැටළු හේතුවෙනි.
පලමු වරට ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරිත්වයෙන් යුතු ABS පද්ධතියක් නිර්මානය වූයේ 1960 අවසාන භාගයේ කොන්කෝර්ඩ් ගුවන්යානා සඳහායි. ක්‍රයිස්ලර් සමාගම තම ඉම්පෙරියල් රථයට ABS පද්ධතියක් සවි කර වෙලඳපොලට යැවූ අතර ඉන් පසු අනෙක් මෝටර් වාහන නිෂ්පාදන සමාගම් ද එය අනුගමනය කලේය. BMW සමාගම විසින් පලමු වරට ඉලෙක්ට්‍රොනික හයිඩ්‍රොලික් පද්ධතියක් සහිත යතුරුපැදිය හඳුන්වා දෙන ලදී.
පහත දැක්වෙනුයේ හි ABS පිලිබඳ වීඩීයොවක්.