21 February 2014

වේගෙන් යනවානම් මේකත් දැනගන්න - ABS


ABS යනු මෝටර් වාහනයක තිරිංග පද්ධතිය නිර්මාණය කිරීමේදී භාවිත වන තාක්ශණික ක්‍රමෝපායකි. වර්තමානයේ නිපදවෙන සෑම මෝටර් වාහනයකම පාහේ ABS තිරිංග පද්ධතියක් සහිතව නිෂ්පාදනය කරනු ලබයි. ABS යන ස්ංකේත නාමයේ අර්ථය Anti-lock Braking Syatem වේ. එනම් වාහනයේ රෝද ස්ථිරව හිර වීමකින් තොරව තිරිංග යෙදවීමට හැකි තිරිංග පද්ධතිය යන්නයි.
මෙම ක්‍රමය මගින් මෝටර් වාහනයක තිරිංග ක්‍රියාකාරිත්වය ඉතා ආරක්ෂාකාරීව, කෙටි කාල පරාසයකින් ඉටු කර ගැනීමට හැකියාව ලැබී ඇත.
ABS තිරිංග පද්ධතියක් නොමැති මෝටර් වාහනයක තිරිංග ක්‍රියාත්මක කළ විට සිදුවන්නේ පහත ආකාරයේ සංසිද්ධියකි. මෙහිදී තිරිංග ක්‍රියාත්මක කල විගසම මෝටර් වාහනයේ සියලුම රෝද වෙත තිරිංග ක්‍රියාත්මක වී රෝද හිරවීමක් හෙවත් ලොක්(Lock) වීමක් සිදු වේ. සුමට තිරිංග යෙදීමකදී (තිරිංග පැඩලය සෙමින් පාගමින් වාහනය සෙමින් නවතා ගන්නා අවස්තා වලදි) නම් රෝද වල හිර වීම ක්ෂණිකව සිදු නොවන අතර වාහනය සම්පූර්ණයෙන් නවතා ගැනීමට වැඩි කාලයක් ගත වේ.එමෙන්ම වාහනය මාර්ගය දිගේ වැඩි දුරක්ද ගමන් කරයි. එහෙත් දෘඩ තිරිංග යෙදීමකදී (වාහනය ක්ෂණිකව නවතා ගැනීමට අවශ්‍ය වූ විට) ඉතා කෙටි කාලයක් තුලදී වාහනයේ තිරිංග ක්‍රියාත්මක වී රෝද හිර වීම සිදු වේ.
මෙසේ එකවරම වාහනයේ රෝද හිර වීම නිසා වාහනයේ රෝද හා මාර්ගය අතර පවතින සම්බ්න්ධතාව හෙවත් ඝර්ෂණය ගිලිහී යාම හේතු කොටගෙන වාහනය මාර්ගය මත ලිස්සා යාමට පටන් ගනී. මේ හේතුවෙන් වාහනයේ පාලනය රියදුරා අතින් ගිලිහී යයි. එබැවින් වාහන අනතුරු ඇතිවීමේ හැකියාව වැඩිවේ.වංගු සහිත මාර්ගයකදී නම් මෝටර් වාහනය ඉක්මනින් මාර්ගයෙන් ඉවතට විසි වීම සිදු විය හැක.
විශේෂයෙන්ම දෘඩ තිරිංග යෙදීම් වලදී මේ අකාරයට සිදුවන මෝටර් වාහනයේ පාලනය ගිලීහීම හා මෝටර් වාහනය මාර්ගයෙන් ඉවතට විසි වීම වලක්වා, රියදුරු පාලනයට කීකරුව ඉතා අඩු කාලයකින් මෝටර් වාහනය ආරක්ශාකාරීව නවත්වා ගැනීමට, වාහනය අනතුරින් වලක්වා ගැනීමට ABS තිරිංග ක්‍රමය නිසා හැකියාව ලැබී ඇත.

විශේෂයෙන්ම දෘඩ තිරිංග යෙදීම් වලදී මේ අකාරයට සිදුවන මෝටර් වාහනයේ පාලනය ගිලීහීම හා මෝටර් වාහනය මාර්ගයෙන් ඉවතට විසි වීම වලක්වා, රියදුරු පාලනයට කීකරුව ඉතා අඩු කාලයකින් මෝටර් වාහනය ආරක්ශාකාරීව නවත්වා ගැනීමට, වාහනය අනතුරින් වලක්වා ගැනීමට ABS තිරිංග ක්‍රමය නිසා හැකියාව ලැබී ඇත.
ABS පද්ධතියක් ප්‍රධාන උපාංග 4කින් සමන්විත වේ. ඒවා පහත පරිදි හඳුන්වාදිය හැක.
1. වේග ස්ංවේදක - Speed sensors
වාහනයේ එක් එක් රෝදය කැරකෙන වේගය කුමක්ද යන්න ඉලෙක්ට්‍රොනික පාලක ඒකකයට ලබා දීම සඳහා මෙය යොදා ගනු ලබයි. එක් රෝදයකට එක බැගින් වාහනයේ රෝද හතරටම මෙම වේග සංවේදක සවි කොට ඇත. සමහර වාහන වල මෙම සංවේදක වාහනයේ අවකලකයේ (Differential) සවි කර තිබෙනු දක්නට ලැබේ.
2. වෑල්ව - Valves
සාමාන්‍ය තිරිංග පද්ධතියකද අපට වෑල්ව දැක ගත හැකිය. මේවා බොහෝවිට වාහනයේ ඉදිරිපස හා පසුපස රෝද වලට වෙන වෙනම හයිඩ්‍රොලික් සැපයුම ලබා දීම සඳහා මාස්ටර් පොම්පය සමග පිහිටනු ලබයි. මේ අයුරින් ම ඇඹ්ශ් ක්‍රමයේදීත් එක් එක් රෝදයට සැපයෙන හයිඩ්‍රොලික් සැපයුම පාලනය කිරීමට හැකි වන පරිදි වෙන වෙනම් වෑල්ව හතරක් තිබේ.
3. පොම්පය - Pump
වෑල්වයක් හරහා හයිඩ්‍රොලික් පීඩනය මුදා හැරිය පසු නැවත වෙනත් වෑල්වයක්ට හයිඩ්‍රොලික් පීඩනය ලබා දීමට අවශ්‍ය පීඩනය උත්පාදනය කිරීමට මෙය ABS පද්ධතියට සම්බන්ධ කොට ඇත. පාලක ඒකකය මගින් මෙම පොම්පයේ ක්‍රියාව නිරතුරුවම ස්ංවේදනය කරනු ලබයි.
4. ඉලෙක්ට්‍රොනික පාලක ඒකකය - ECU (electronic control unit)
තිරිංග යෙදූ පසු රෝද වල වේගය මැන බලා ඊට අදාලව රෝද වෙත හයිඩ්‍රොලිච් පීඩනය යැවීම හා නිදහස් කිරීම සඳහා නිර්මාණය කරඇති ඉලෙක්ට්‍රොනික උපාංග සහිත කොටසකි. පොම්පය හා වෑල්ව යන කොටස් එක්වී Modulator unit යන ඒකකය නිර්මාණය වේ.


මෝටර් වාහනයක රියදුරා විසින් වාහනයේ තිරිංග ක්‍රියාත්මක කල විට ඉලෙක්ට්‍රොනික පාලක ඒකකය මගින් එය සංවේදනය කරයි. පසුව වෑල්වය සෙමින් නිදහස් කරමින් රෝදය වෙතට හ‍යිඩ්‍රොලික් පීඩනය ලැබීමට සලස්වයි. එවිට රෝදයේ රෝධක ක්‍රියාත්මක වීම නිසා රෝදයේ වේගය අඩුවීගෙන ගොස් රෝදය ලොක් වීමට ආසන්න අවස්ථාවට පැමිනේ. එවිට ඒ බව පාලක ඒකකය සංවේදනය කර,නැවත වෑල්වය සෙමින් වැසීම සිදු කරයි. එවිට රෝදයට ලැබෙන හ‍යිඩ්‍රොලික් සැපයුම අඩාල වීම නිසා නැවත රෝදය කරකැවීමට පටන් ගනී. මෙම ක්‍රියාවලිය සිදු වීමට ගත වන්නේ ඉතාමත් කෙටි කාලයකි. තත්පරයකට කිහිපවාරයක්ම මෙය සිදුවේ. මේ අයුරින් මෙම ක්‍රියාවලිය සෑම රෝදයකටම ක්‍රියාත්මක වීම නිසා වාහනය ඉක්මණින් නවතා ගැනීමට හැකියාව ලැබේ.
භාවිත වන වෑල්ව ප්‍රමාණය හා යොදාගන්නා වේග සංවේදක ගණන අනුව තිරිංග පද්ධති වර්ග කිහිපයකි.
  • Four-channel, four-sensor ABS
  • Three-channel, four-sensor ABS
  • Three-channel, three-sensor ABS
  • Two-channel, four sensor ABS
  • One-channel, one-sensor ABS
මෙහි channel යනුවෙන් දක්වා ඇත්තේ භාවිතා වන වෑල්ව ප්‍රමාණය වේ. වාහනයේ බර, ගමන්කල හැකි වේගය, නිෂ්පාදක සමාගම වැනි කරුණු අනුව මෝටර් වාහනයක සවිකරන ABS පද්ධතියේ වර්ගය එකිනෙකට වෙනස් වේ.
ABS තිරිංග පද්ධතියක් පලමු වරට නිෂ්පාදනය වූයේ ගුවන් යානා සඳහායි. ඒ 1929 ප්‍රංෂ වාහන හා ගුවන්යානා නිර්මාපකයෙකු වූ ගේබ්‍රියල් වයොසන් (Gabriel Voisin) විසිනුයි. මෙය යාන්ත්‍රික පද්ධතියක් වූ අතර, ජව රෝදයක් මගින් ක්‍රියාත්මක විය. ඉන් පසු මෙය ගුවන් යානා සඳහා භාවිත වුවද මෝටර් වාහන සඳහා භාවිත වීමට ආරම්භ වූයේ 1960 පසුවයි. Ferguson P99 රේසින් කාරය, Jensen FF, ෆොර්ඩ් Zodiac යනාදී මෝටර් වාහන වල භාවිත කලද එය ජනප්‍රිය නොවූයේ නිෂ්පාදනයට වැය වු මිල අධික වීම හා ප්‍රායේගික ගැටළු හේතුවෙනි.
පලමු වරට ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරිත්වයෙන් යුතු ABS පද්ධතියක් නිර්මානය වූයේ 1960 අවසාන භාගයේ කොන්කෝර්ඩ් ගුවන්යානා සඳහායි. ක්‍රයිස්ලර් සමාගම තම ඉම්පෙරියල් රථයට ABS පද්ධතියක් සවි කර වෙලඳපොලට යැවූ අතර ඉන් පසු අනෙක් මෝටර් වාහන නිෂ්පාදන සමාගම් ද එය අනුගමනය කලේය. BMW සමාගම විසින් පලමු වරට ඉලෙක්ට්‍රොනික හයිඩ්‍රොලික් පද්ධතියක් සහිත යතුරුපැදිය හඳුන්වා දෙන ලදී.
පහත දැක්වෙනුයේ හි ABS පිලිබඳ වීඩීයොවක්.

8 comments:

  1. හරියටම වැඩේ වෙන විදිය දැන ගත්තේ අද... ස්තුතියි.. ABS වලට වඩා අලුත් ක්‍රම දැන් තියෙනවද? නැත්නම් මේකද දැනට තියෙන හොඳම ක්‍රමය...

    ReplyDelete
    Replies
    1. මෝටර් වාහන වල තිබුණු සාමාන්‍ය තිරිංග පද්ධතියම වැඩිදියුණු කරල තමයි මේ ක්‍රමය හදල තියෙන්නෙ. මේ ක්‍රමය නිසා ලෝකයේ සිදුවන වාහන අනතුරු ප්‍රමාණය විශාල ප්‍රතිශතයකින් අඩුවෙලා තිබෙනවා. මේකට වඩා සාර්තක, අළුත් තාක්ෂණික ක්‍රමවේදයක් මම දන්න තරමින් නම් නෑ.

      Delete
    2. ඇයි දැන් ebs කියලත් තියනවා නේ ද ?

      Delete
    3. ඇයි දැන් ebs කියලත් තියනවා නේ ද ?

      Delete
  2. This is a great work.Keep it up. For any kind of help about automobile technology, dont be hesitate to contact us. We will give you our full support as best as we could.

    ReplyDelete